විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාවට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් අද (23) විශේෂ සාකච්ඡාවක නිරත වේ.
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් අද එකම වේදිකාවකට!

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව ඉදිරි පියවර තීරණය කිරීම වෙනුවෙන් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වේ.
රනිල්, මෛත්‍රී සහ පොහොට්ටුවත් එකට
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ට සහ නියෝජිතයින්ට ආරාධනා කර ඇත.
අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට පියවර
මෙම හදිසි රැස්වීම පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බවයි. රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් විපක්ෂයක් ලෙස ඒකාබද්ධව මැදිහත් වීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.