ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ බලාපොරොත්තුවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඉන්ධන QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නැහැ; ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හේතු දක්වයි!
ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR කේත ක්‍රමවේදය (Fuel Pass QR System) ඉවත් කිරීමට මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිලෙහි තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් QR පාලන ක්‍රමවේදය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවයි.

ඩොලර් සංචිතය රැක ගැනීමට ලැබුණු පිටුවහලක් QR ක්‍රමවේදය භාවිත කිරීම මඟින් මෙරට ඉන්ධන පරිභෝජනය මෙන්ම ඒ සඳහා වැයවන විදේශීය ඩොලර් සංචිතය ද සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බව නෙත්තිකුමාරගේ මහතා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් පවතින යුදමය තත්ත්වයන් තවදුරටත් උග්‍ර වුවහොත්, මෙරට තුළ යළිත් වරක් ඉන්ධන පෝලිම් ඇතිවීම වැළැක්වීම සහ එමඟින් ජනතාව පත්වන අපහසුතා මඟහරවා ගැනීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ඉන්ධන සැපයුමට බලපෑමක් නෑ ලෝක දේශපාලනික සහ යුදමය නොසන්සුන්තාවන් හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට මේ දක්වා කිසිදු බාධාවක් හෝ බලපෑමක් එල්ල වී නොමැති බව ද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහතික කළේය. කෙසේ වෙතත්, ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉදිරියේදී ඉහළ යාමට ඇති ඉඩකඩ පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර අවධානයෙන් සහ නිරීක්ෂණයෙන් පසුවන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.