තෙල්දෙණියේදී මෝටර් රථයක් තුළ දමාගොස් තිබූ භෞත චිකිත්සකවරියගේ සිරුර පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක්. අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර දෙයි.
භෞත චිකිත්සකවරිය ගෙල සිරකර මැරූ ‘කසාද මනමාලයා’ සහ බිරිඳ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර!
තෙල්දෙණිය මූලික රෝහල අසල දමාගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ සිරුර සම්බන්ධ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ.
ඒ අනුව 43 හැවිරිදි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ මොවුන්ට රැකවරණය හා ප්‍රවාහන පහසුකම් සලසමින් ඝාතනයට සහයෝගය දුන් බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරුගෙන් නුවරඑළිය පොලිසිය මඟින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
සියදිවි නසාගැනීමක් නොවන බව තහවුරු වෙයි මියගොස් ඇත්තේ වැලිගම, පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි, අම්පාර මහා රෝහලට අනුයුක්තව සේවය කළ 33 හැවිරිදි රත්නායක පතිරගේ ශ්‍යාමා දර්ශනී නමැති භෞත චිකිත්සකවරියයි. සැකකරු විසින් ඇය සියදිවි නසාගත් බව ඇඟවීමට උත්සාහ කර තිබුණ ද, තෙල්දෙණිය අධිකරණ වෛද්‍ය නිලධාරිනී කේ.එස්. බණ්ඩාර මහත්මිය සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ රෙදි පටියකින් හෝ ලණුවකින් ගෙල සිරකිරීමෙන් සිදුකළ ඝාතනයක් (Homicide) බවයි. නුවරඑළිය හෝටල් කාමරයක සිට ඇගේ මළසිරුර සැකකරු විසින් වඩාගෙන විත් මෝටර් රථයට දමන අයුරු සීසීටීවී (CCTV) දර්ශනවල ද සටහන්ව තිබුණි.
මිලියන 15ක මහා පරිමාණ විවාහ වංචාවක් පොලිස් විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු ‘දිනෙත් දිසානායක’ යන ව්‍යාජ නමකින් පෙනී සිටිමින්, මියගිය තරුණිය කැනඩාවට රැගෙන යන බව පවසා රුපියල් මිලියන 15කට ආසන්න මුදලක් වංචා කර තිබේ. මොහු මීට පෙර ද ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාම සහ කඩුවෙල යන අධිකරණවල කාන්තාවන් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ නඩු රැසකට පැටලී සිටින අයෙකි.
යාපනය කයිතඩි ප්‍රදේශයේදී බස් රථයක වෙස්වලාගෙන පලායමින් සිටියදී වලාන දූෂණ මර්දන ඒකකය මඟින් කොටුකරගත් මෙම අඹුසැමි යුවළට අමතරව, මේ සඳහා අනුබල දුන් ආරක්ෂක අංශ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ද නුවරඑළිය පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.