ඩෙංගු උණ වැලඳීමෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුවියක් වූ සඳලි තාරකා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. ඇය මියයෑමට පෙර එවූ අවසන් පණිවිඩය කාගේත් නෙතට කඳුළක් එක්කරයි.
“නොමැරි සිටියොත් එන්නම්…” – මිතුරියට අවසන් පණිවිඩය එවූ රුහුණු සරසවියේ සඳලි තාරකා ඩෙංගු රෝගයට බිලිවෙයි!
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අකාලයේ මියගොස් ඇත්තේ, මාතර – දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි, රුහුණු විශ්වවිද්‍යාලයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමට අයත් සඳලි තාරකා නැමැති සිසුවියකි.

ඇගේ අකල් වියෝව මුළු විශ්වවිද්‍යාල පරිශ්‍රයම දැඩි ශෝකයකින් සහ කම්පනයකින් වෙළා ගැනීමට හේතු වී තිබේ.
නෙතට කඳුළක් නැඟූ අවසන් පණිවිඩය සඳලි මියයෑමට පෙර සිය සමීපතම මිතුරියක් වෙත වට්ස්ඇප් (WhatsApp) තාක්ෂණය ඔස්සේ පණිවුඩයක් යොමු කර තිබූ අතර එහි සටහන්ව තිබුණේ, “නොමැරි සිටියොත් එන්නම්” යනුවෙනි. එය ඇය සිය සරසවි මිතුරියට යැවූ අවසන් පණිවිඩය බවට පත්ව ඇතැයි ඇගේ සහෝදර සිසුන් පවසති. සදලිගේ වියෝව ගැන ඇයගේ සහෝදර සිසු සිසුවියන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහන් තබමින් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, මෙවන් අකල් මරණයක් මතු ආත්මයක අත් නොවේවා යැයි ප්‍රාර්ථනා කර තිබේ.
විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් සිසුන් ඉල්ලීමක් කරයි තවත් ශිෂ්‍ය ජීවිතයක් ඩෙංගු වසංගතයට බිලිවන තුරු බලා නොසිට, විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට සරසවි සිසුහු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
මේ වන විට මාතර මහ නගර සභා බලප්‍රදේශය ද ඩෙංගු අධි අවදානම් තත්ත්වයක (High Risk Zone) පවතින බැවින්, තම දූදරුවන් සහ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.