භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (23) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ අක්‍රමිකතාව සෙවීමට මුදල් කාරක සභාව අද රැස්වෙයි; මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් පාර්ලිමේන්තුවට කැඳවයි!
භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි ගණනක) මුදලක් අස්ථානගත වීම සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව සොයා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (23) යළි රැස්වීමට නියමිතව තිබේ.
මෙම විශේෂ රැස්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
උසස් නිලධාරීන්ට කැඳවීම් මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු අදාළ කාර්ය මණ්ඩලයට ද අද දින කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
වාර්තා දෙකක් ලැබී ඇත – රවී කරුණානායක මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ, අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාව සම්බන්ධයෙන් මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මේ වන විටත් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.
“මුදල් අමාත්‍යාංශය මීට සතියකට පෙර තමන්ගේ වාර්තාව දුන්නා. මහ බැංකුව මීට දින හතර පහකට පෙර වාර්තාවක් ලබා දී තිබෙනවා. මෙම වාර්තා දෙකම එකිනෙක සසඳා බලා, මේ මුදල්වල විෂමතාවය සහ ප්‍රශ්නය තිබුණේ කොතැනද යන්න අද පස්වරු 2.00ට පැවැත්වෙන රැස්වීමේදී හෙළිදරව් කර ගැනීමට නියමිතයි,” යැයි රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය