රිදීමාලියද්ද ලොග්ගල්ලා ඔය ජලාශයේ උපන්දින සාදයකට පැමිණ අනාරක්ෂිත ඔරු පාරුවකින් ගමන් කළ මහනුවර ප්‍රදේශයේ දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
උපන්දින සාදය මාරක අනතුරකින් කෙළවර වෙයි; ලොග්ගල්ලා ඔය ජලාශයේ ඔරු පාරුවක් පෙරළී මහනුවර ව්‍යාපාරිකයින් දෙදෙනෙකු දියේ ගිලී මියයයි!
රිදීමාලියද්ද – කුරුවිතැන්න, තොටිලේයාය ප්‍රදේශයේ පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශයේ ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අනාරක්ෂිත පාරුවක් පෙරළීම හේතුවෙන් දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු සහ මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
ගොවිපළ මුවාවෙන් පවත්වාගෙන ගිය සංචාරක ස්ථානයක් පොලීසිය පවසන්නේ මහනුවර ප්‍රදේශයේ සිට 33 දෙනෙකුගෙන් සමන්විත නඩයක් ඊයේ (28) ලොග්ගල්ලා ඔය වැව් රක්ෂිතය තුළ ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් රහසිගතව පවත්වාගෙන ගිය සංචාරක ස්ථානයකට පැමිණ ඇති බවයි. එහිදී ඔවුන් උපන්දින සාදයක් පවත්වා ඇති අතර, පසුව එම ස්ථානයට අයත් කුඩා ඔරු දෙකක් අනාරක්ෂිත ලෙස එකට තබා බැඳ සකස් කරගත් “ඔරු පාරුවකින්” ලොග්ගල්ලා ඔය වැව මැද පිහිටි කුඩා දූපතකට දිය නෑම සඳහා ගොස් තිබේ.

ලයිෆ් ජැකට් නැතිකම ජීවිත බිලිගනී දූපතේ දිය නෑමෙන් අනතුරුව නැවත මෙගොඩට පැමිණෙන අවස්ථාවේදී මෙම ඔරු පාරුව මැදින් කැඩී පෙරළී ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මෙම අනාරක්ෂිත පාරුව තුළ කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු සංචාරකයින් 11 දෙනෙකු ගමන් කර ඇති බව විමර්ශනවලදී හෙළි විය.
එහි සිටි පිරිසෙන් 9 දෙනෙකු බේරී ඇති අතර, ජීවිත ආරක්ෂක කබා (Life Jackets) පැළඳ නොසිටි මෙම පුද්ගලයන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇත. පසුව රිදීමාලියද්ද පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකින් අද (29) උදෑසන ඔවුන්ගේ මෘත දේහයන් වැව පතුලේ තිබී සොයාගනු ලැබීය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගොවින්න මහතා අද (29) දහවල් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළේය. ඉන් අනතුරුව මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහියංගණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.