දේශීය

ළමා ආරක්ෂාව රටේ ජාතික ප්‍රමුඛතාවක්!

දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව (EVAC) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය. ළමා ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවක් බව ඇය එහිදී පැවසුවාය.

ළමා ආරක්ෂාව රටේ පුළුල් සංවර්ධන න්‍යාය පත්‍රයේ ජාතික ප්‍රමුඛතාවක්; දකුණු ආසියානු අමාත්‍ය සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි!

Elanka Mirror WhatsApp නාලිකාවට එකතු වන්න
නවතම පුවත් වහාම දැනගන්න - WhatsApp හි එකතු වන්න
එකතු වන්න →

දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (South Asia Ministerial Conference on Ending Violence against Children – EVAC) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය රටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ව්‍යුහාත්මක ප්‍රවේශයකට පිවිස ඇති බවයි.

ජුනි 23 සහ 24 යන දෙදින පුරා කොළඹදී පැවැත්වෙන මෙම කලාපීය සමුළුව හරහා දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය තුරන් කිරීම සඳහා වන දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

ජාතික ප්‍රමුඛතාවක් සහ ව්‍යුහාත්මක වෙනසක් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව යනු හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොවන බවයි. එය රටේ පුළුල් සංවර්ධනය, යහපාලනය සහ සමාජ සාධාරණතා න්‍යාය පත්‍රය තුළ අන්තර්ගත ජාතික ප්‍රමුඛතාවක් බව ඇය අවධාරණය කළාය.

“අධ්‍යාපන පද්ධතිය ළමුන් බලගන්වන සුවිශේෂී පරිසරයක් නිර්මාණය කරනවා. පාසල් යනු ඉගෙනුම් ඉගැන්වීම් සඳහා සීමා වූ ස්ථාන පමණක් නොවේ, හානිකර තත්ත්වයන් කල්තියා හඳුනා ගනිමින්, මනෝසමාජීය සහාය ලබාදෙමින් දරුවන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙන වැදගත් ස්ථාන වනවා.” යැයි ද ඇය සඳහන් කළාය.

කලාපීය සහයෝගීතාවයේ අත්‍යවශ්‍යතාව ළමා ආරක්ෂාව සම්බන්ධ අභියෝග ජාතික සීමාවන් ඉක්මවා යන බැවින්, වැරදි සමාජ සම්මත, ළමා විවාහ, ළමා ශ්‍රමය සූරාකෑම සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන ළමා අපයෝජන වැනි නැගී එන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා දකුණු ආසියානු රටවල් අතර සාමූහික ක්‍රියාමාර්ග සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC) විසින් යුනිසෙෆ් (UNICEF ROSA), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO SEARO/EMRO) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (OSRSG-VAC) සමඟ ඒකාබද්ධව සංවිධානය කළ මෙම සමුළුවට සාක් මහලේකම් එම්.ඩී. ගොලාම් සර්වර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

Follow Us
Elanka Mirror සිංහල
නවතම පුවත් දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු අනුගමනය කරන්න

sinhala.elankamirror.lk

About Author