අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි!
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය (Social Media) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අතර, දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සීමා කර ඔවුන්ව ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය සලකා බලමින් සිටින බව සඳහන් වේ.
මේ සඳහා නව නීතිමය ක්‍රියාමාර්ග හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවන් වන ටික්ටොක් (TikTok), ස්නැප්චැට් (Snapchat) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) වැනි යෙදවුම් (Apps) මෙම දැඩි නීතිමය රෙගුලාසි යටතට ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.
අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සිදුවන බරපතළ හානි වළක්වා ගැනීම, අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර (Cyberbullying) සහ වෙනත් විවිධ අවදානම්වලින් දරුවන් මුදාගැනීම බ්‍රිතාන්‍ය රජය ක්‍රියාත්මක කිරීමට යන මෙම නව නීතියේ ප්‍රධානතම අරමුණ වී තිබේ.